Tuesday, December 24, 2013

"අසාර්ථක උත්සාහය" දුක හිතෙන කතාවක්

අදනම් යාලුවනේ මම ගෙනාවේ මගෙ නිර්මාණයක්වත් පරිගණක දැනුමට අදාල දෙයක්වත් නෙවෙයි.
හිත උණුවෙන විදිහේ එක් අසාර්ථක උත්සාහයක්; මගෙ යාලුවෙකුගේ සත්‍ය අත්දැකීමක්; සත්ව කරුණාව නිසාවෙන් ගත් එක් අහිංසක උත්සාහයක ව්‍යාර්ථ වීම.  :'( කියවලම බලන්න.

<<<මේක කියවලා එක්කෙනෙක් හරි සත්තුන්ට ආදරය කරුණාව දක්වන්න පටන්ගන්නවනම්, මට ඒක ලොකු සතුටක්. මේ බ්ලොගියට අදාල නොවෙන මේ පෝස්‍ටුව් පල කිරීමේ එකම අරමුණත් ඒකමයි.>>>



=============================================================

අසාර්ථක උත්සාහය,,,,,


"අන්න අර සතා ආයෙත් පැටවු ගහල.. ඉන්න එවුන් මදිවට දැන් මට තවත් එවුන්ට කන්න හදන්න වෙයි.." අම්ම එහෙම කිවුවෙ තරහින්.බලු පැටවු හම්බ වෙලා කියල දැනගත්ත ගමන් මම උන්ව බලන්න ගියා.. අනේ එක පටියෙක් නම් ඉපදෙනකොටම මැරිල... මොනව කරන්නද ඉතින්.. ඒ ඌ ලබා උපන් හැටිනේ, ආයෙ නම් කවදාවත් මෙහෙම අකල් මරණ වෙන්න එපා" කියල හිතාගෙන තාත්තයි මමයි ඌව වල දැම්ම.

එදා හවස තමයි මම දැන ගත්තෙ පැටවුන්ගෙ අම්ම සෑහෙන වෙලාවකින් පැටව් ලඟට ඇවිත් නැති බව. අහල බලනකොට අම්මත් කිව්ව ඌ දවල් බත් කන්න ආවෙත් නෑ කියල. පැටවු බඩගින්නෙ නිසා අම්මගෙ රැවුම් ගෙරවුම් මැද්දෙම මම තාත්තගෙ උදවුත් ඇතිව ඉතුරු වෙලා හිටපු බලු පැටවු දෙන්නට පිටි කිරි හදල සෑහෙන මහන්සි වෙලා ටික ටික පෙව්ව..

හරිම ලස්සන පැටවු දෙන්නෙක්. එකෙක් සම්බෝල පාටයි. ඌ ගෑනු සතෙක්.. අනික කලු පාටයි. ඒක නම් පිරිමි සතෙක්. දෙන්නගෙම බෙල්ල වටේ සුදු පාටින් මාල දෙකක් තියෙනවා. පැටවු හම්බ වෙලා ටික දවසක් යනකල් උන්ගෙ අම්ම පැටවුන්ව පේන දුරින් එහාට යන්නෙ නෑ. බලු අම්මට මොකක් හරි කරදරයක් වෙලා කියල මට ඉවෙන් වගේ දැනුන.. අනේ එහෙම උනොත් අර අහිංසක පැටවු දෙන්නට යන කල මොකක්ද????? එදා රෑ එළි වෙනකල් මම ප්‍රර්ථනා කලේ උදේ වෙනකොට උන්ගෙ අම්ම උන් ලඟට ඇවිත් ඉන්න කියලා.

පංති යන්න තියෙන දවසක් නිසා මම උදේ 4.30ට විතර නැගිටින්න ඕනෙ. වෙනදට ඇඳෙන් බිමට ඇදල දාලා වත් ඇහැරවන්න බැරි මම එදා හැමෝටම කලින් ඇහැරුනා.පැටවු ලඟට උන්ගෙ අම්ම අවිත් තිබුනෙ නෑ. කොච්චර කතා කලත් ආවෙත් නෑ. මොනව කරන්නද? පංති යන්න ලැහැස්ති වෙන්න කලින් කිරි ටිකක් හදලා පුළුවන් තරම් පැටවු දෙන්නට පෙවුවෙ මම ආයෙත් එනකල් උන් දෙන්නට වතුරවත් නෑ කියල දන්න නිසයි. ඒ දවස් ටිකේම මගෙ හිතේ කොනක තිබුනෙ එකම එක බලාපොරොත්තුවයි. ඒ පැටවුන්ගෙ අම්ම ආයෙ උන් ලඟට එන්න කියන එක විතරයි..

කොහොම උනත් පැටවුන්ව ජීවත් කරවන්න ලොකුම ලොකු අධිෂ්ටානයක් මගෙ හිතේ තිබුනා. අම්මගෙ බැනුම් ගනන් ගන්නෙ නැතුව ඒ වෙනුවෙන් මම මහන්සි උනේ ඒකයි. අඩුම තරමෙ උන් දෙන්නා ඇස් ඇරල මේ ලෝකෙ එලිය දකිනකල් වත් ජීවත් කරවන්න පුලුවන් උනොත්.....

පංති ඉවර වුන ගමන් ඉඩ නැති බස් වලට උනත් නැගල ඉක්මනට ගෙදර ආවෙ බඩගින්නෙ ඉන්න සත්තු දෙන්නට කිරි පොඩ්ඩක් හදල පොවන්න. මහන්සි බලන්නෙ නැතුව ආව ගමන් කිරි හදනව දැක්කම අම්ම කියපු ඇනුම් පද වලට උත්තර දෙන්න ගියේ නැත්තෙ හිතට ආව තරහ නිසා ඇස් දෙකෙන් ආව කඳුළු හංගගෙන ඉන්නයි. අම්ම කෙනෙක් වෙලත් හිතේ පොඩි අනුකම්පාවක් වත් නැත්තෙ මොකද කියලා මට හිතා ගන්න බැරි උනා. කවුරු මොනව කිවුවත් ඒ සත්තු දෙන්නට බඩගින්නෙ වේලිලා මැරිල යන්න මම ඉඩ දෙන්නෙ නෑ කියල මම අම්මටයි තත්තටයි දෙන්නටම ඇහෙන්න කිවුව. 

පැටවු දෙන්නව පොඩි පෙට්ටියක දාල ගේ අතුලෙන් තියාගත්තෙ උන්ගෙ අම්ම තවත් නො එන බව තේරුම් ගියාට පස්සෙ. රෙදි කෑලි වල ඔතල තියාගත්තට උන්ට ඕනෙ උණුසුම දෙන්න අමාරුයි. කිරි පෙවුවම ඇඟ හැම තැනම ගාගෙන උන් සීතලේ කෑගහනව. එහෙම වෙලාවට උන්ව නිදි කරවන්න පුලුවන් මගෙ අතට ගත්තොත් විතරයි. ඉතින් එහෙම වෙලවට මම කරන්නෙ දෙන්නවම මගෙ අත් දෙන්නට අරගෙන නින්ද යනකල් තියාගෙන ඉන්න එක. මගෙ අතේ නිදාගෙන ඉන්න ගමන් උන් දෙන්න හීනෙන් කිරි උරන හැටි දකිනකොට දන්නෙම නැතුව මගෙ ඇස් වලින් කඳුලු කඩා හැලෙනව.ඉපදුනු ගමන් අම්මගෙ උණුසුම නැති වෙන්න තරම් උන් දෙන්න කළ පව මොකක්ද කියලා ඒ හැම වෙලාවෙම මම කල්පනා කළා. අම්මගෙ අඩුව පුරවන්න මට බැරි උනත් පුලුවන් හැම විදියකින්ම උන් දෙන්න වෙනුවෙන් මම කැප උනා. මගෙ අතින් අයින් කළ ගමන් උන් දෙන්න ඇහැරෙනව. කෑගහනව අහන් ඉන්න අකමැති නිසාම මම පුලුවන් තරම් වෙලාවක් උන් එක්කම හිටිය.
වෙලාවට කන්න, නිදාගන්න, එන්න,පංති වලින් දුන්න ගෙදර වැඩ කරන්න... මේ මොකටවත් මට ඉඩක් හම්බ උනේ නෑ. මොන දේ කළත් හිත තිබුනෙ උන් දෙන්න ලඟ.

ඊලඟ දවස් තුනම මම ගෙදර එන්නෙ රෑ වෙලා. පැය 14ක් විතර පැටවුන්ව බඩගින්නෙ තියන්න බැරි කමට මම උන්ව මම නැති වෙලාවට බලා ගන්න එක තාත්තට භාර දුන්න. අම්ම වගේ නෙමෙයි, තාත්තා සත්තුන්ට කරුණාවන්තයි. ඒ නිසා උන්ව හොඳට බලා ගන්න බව මම දැනගෙන හිටියත් පංතියෙ විවේකයක් දුන්න හැම වෙලාවෙම මම ගෙදරට කතා කරල උන් ගැන අහල බැලුවා. හැමෝම කිව්වෙ එච්චර පොඩි සත්තු දෙන්නෙක්ව අම්ම නැතුව හදාගන්න අමාරුයි කියලා. ඒ කතාව ආයෙත් අහන්න තිබුන අකමැත්ත නිසාම මම මගෙ යාළුවන්ට වත් මේ ගැන කිවුවෙ නෑ. මට ඕනෙ උනේ ඒ අභියොගෙ ජයගන්න විතරයි.

මම ගෙදර එනකල් තාත්ත උන්ව ගොඩක් හොඳට බලාගෙන තිබුනා. මම එනකොට දෙන්නම නිදි. පිටි කිරි වල පෝෂණය මදි නිසා ගෙදර තිබුන ග්ලූකෝස් ටිකකුත් පිටි වලට කලවම් කරල පෙවුව්වෙ මට උන්ට දෙන්න ඊට වඩා හොඳ දෙයක් නොතිබුන නිසා. ගොඩක් වෙලාවට උන් දෙන්න මගෙ පුංචි අඟිල්ල අහු උනාම අත අරින්නෙම නතුව උරනවා. උන් හිතන්නෙ එකෙන් කිරි එයි කියල. ඒ වෙලාවට මම කරන්නෙ ඇස් වල කඳුලු පුරවගෙන අඟිල්ල දිගේ උන්ගෙ කට ඇතුලට පිටි කිරි බිංදුව බිංදුව දාන එක.

තව දවසක් මේ විදියටම ගත උනා. පැටවුන්ගෙ දුර්වල වීමක් පෙන්න තිබුනෙ නැති නිසා උන්ව හදා ගන්න බැරි වෙයි කියන බය මගෙ හිතෙන් ටිකක් ඈත් වෙලයි තිබුනෙ. එත් එදා රෑ ගෑනු සතාගෙ වෙනසක් මම දැක්ක. පහුවදා උදෙත් ඌ ඒ විදියමයි. ඌව හොඳ වෙන්න කියල මම මුලු රෑ ම ප්‍රර්ථනා කළත් වැඩක් වෙලා තිබුනෙ නෑ.ඌ කිරි බොන්න කැමැත්තක් පෙන්නුවෙත් නෑ. ඒ නිසා දවල් වෙලා ඌට කිරි ටිකක් පොවන්න කියල තාත්තට කියල මම පංති ගියා. වෙනදටත් වඩා එදා මම ගෙදරට කතා කළා. එත් ඌ මැරුණ කියල මට දැනගන්න හම්බ උනේ ගෙදර ආවමයි. කියාගන්න බැරි දුකක් හිතට ඇති උනත් මට කරන්න දෙයක් තිබුනෙ නෑ. ආයෙත් මේ වගේ අකල් මරණයක් නම් වෙන්න එපා කියල මම මුළු හිතින්ම ප්‍රාර්ථනා කලා.

ඒකෙන් උනේ අනිත් පැටිය තවත් තනි උන එක.. තුරුළු වෙලා නිදාගන්න ඌට හිටපු එකම කෙනෙත් නැති උනා. මම ඌව අතට අරගත්තෙ "දැන් ඉතින් ඒ අඩුවත් පුරවන්න ඉන්නෙ මම ම තමයි" කියල හිතන ගමන්.එදා රෑ ඌ කිරි බිවුවෙ නෑ. තාත්ත නම් කිවුවෙ හවස ටිකක් පෙව්ව නිසා වෙන්න ඇති කියලා. ඌ ගැන මගෙ හිත කරදර වෙද්දි අහන්න ලැබුන දෙයින් මට දැනුනෙ කියාගන්න බැරි සතුටක්..

එලියෙ ඉන්න ලොකු බල්ලො තුන් දෙනාට (ගෑනු සතුන් තුන් දෙනෙකි ) බත් කන්න දෙන්න ගිය අම්ම නැවත ආවේ "අන්න ලොකු එකා මේ පාරත් පැටවු ගහල" කියාගෙනය. එය අප සැමටම විශ්මයට කරුණක් වූයේ ගැබ් ගෙන ඇති බවට ලකුණක් වත් මින් පෙර අප දැක නොතිබූ බැවිනි.එ සැනින් ගෙයින් එළියට පැන ඇය වෙත ගිය මට ඇස් අදහා ගත නොහැකි විය. ඇගේ තුරුලේ කිරි උරමින් සිටියේ අද මිය ගිය පැටියාගේ පෙනුමට 99% ක් සමාන එකෙකි.මේ අලුත උපන් පැටියාද මිය ගිය එකා මෙන්ම ගැහැනු සතෙකි. එකම වෙනස ප්‍රමාණයෙන් තරමක් කුඩා වීම හා මිය ගිය පැටියගේ වලිගයේ අග තිබූ සුදු පාට කොටස මේකාගේ නොමැති වීම පමණි.ගෙල වට මාලයද ඒ අයුරින්ම පිහිටා ඇති හැටි!!!!!!!

"මම හිතන්නෙ මේ පැටියත් කලින් එවුන්ගෙ තාත්තගෙම පැටියෙක්." සියළු නිරීක්ෂණ වලින් මා ලද අවසන් නිගමනය එයයි. එක පැටවෙක් පමණක් කුස තුල සිටි නිසා ගැබ් ගෙන ඇති බවක් ඒ හැටි නොපෙනුනා විය හැකිය. කෙසේ වුවත් අම්මෙක් නැතිව සිටින බලු පටියාට දැන් අම්මා යැයි කියන්නට කෙනෙක් නැවත ලැබී ඇත. මේ උපත තව දිනකට පෙර සිදු වූවා නම් මිය ගිය පැටවාවද ජීවත් කරගන්නට තිබුනා නොවෙදැයි මට අනන්ත වාරයක් සිතෙන්නට ඇත.

පිටි කිරි වලින් ජීවිතය රැකගෙන මගෙ අතේ අඟිල්ලෙන් කිරි උරා බොන්නට තැත් කරන, මගේ අතේ උනුසුමට ගුලි වී නිදමින් මවු තුරුලේ නිදන බවට හීන දකින පුංචි පැටවාව මා අළුත් මවගේ තුරුලට පත් කළේ ඇය තම දරුවාව මෙන්ම මේ අසරණයාවත් රැක ගනු ඇතැයි විශ්වාස කළ නිසාය.

මවකගෙ උණුසුම දනුන ගමන් ඵ් පැටවා කිරි උරා බොන්නට පටන් ගත්තේ දිගු කලක් බඩගින්නේ සිටි ලෙසින් වුවත් එ වන විටත් උගේ බඩ හිස් වී නොතිබුණි. අළුත් අම්මා ඌට වෙනසක් නොපෙන්නූ බැවින් මගෙ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් විය. "ඇස් අරිනකල් විතරක් නෙමේ, දැන් නම් ඌව තව ගොඩක් කාලයක් ජීවත් කරගන්න පුලුවන් වෙයි" ගෙදර හැමෝටම ඇහෙන්න මම කිව්වෙ හරිම සතුටින්.

ඊලග දවසෙ පාන්දර පංති යන්න ඇහැරුන ගමන් ජනේලෙ ඇරල බලුවම මම දැක්ක පැටවු දෙන්නම අම්මගෙ තුරුලෙ සැපට නිදාගෙන හිටපු හැටි. ඒ දෙන්න ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න කියල තාත්තට කියල මම පන්ති ගියා. දවල් මම ගෙදරට කතා කලේ එක පාරයි. ඒ පටවු ගැන කලින් වගේ බයක් නොතිබුන නිසා. අම්ම කිවුවෙ දෙන්නම හොඳින් කියල. එත් ගෙදර ගිය ගමන් උන්ව බලන්න ගිය මට දකින්න හම්බ උනේ අලුතෙන් හම්බ වුන පැටියවයි උගෙ අම්මවයි විතරයි. "කෝ අනිත් එකා??" මම කෑ ගහල අහනකොට "ඌ මැරුන. දවල් ඉඳන් හුස්ම ගත්තෙ අමරුවෙන්, තත්ත පුලුවන් හැම දේම කලා. ඒත් වැඩක් උනේ නෑ" කියල අම්ම කිවුව.

අන්තිමට හැමෝම කියපු කතාව හරි ගියා. ජීවත් වෙයි කියල මම හිතපු පැටියත් මැරිල.හිතට දැනුන වේදනාව කියාගන්න තේරෙන්නෙ නෑ.. උන් දෙන්නම ඒ ටික දවසට මගෙ හිතට ගොඩාක් ලං උනා. මම උන්ව බලාගත්තෙ මගෙම දරුවො වගේ කිවුවොත් වැරදි නෑ. උන් දෙන්න බලු පටවු කියල නෙමෙයි මම හිතුවෙ. මම උන්ව දැක්කෙ අම්ම නැතුව ජීවිතේ ගැටගහ ගන්න හදන අහිංසකයො දෙන්නෙක් විදිහට.

මුලදිම මට ඕනෙ උනේ බඩගින්නෙ මැරිල යන්න උරුම වෙලා තිබුණ උන් දෙන්නගෙ ඉරණම වෙනස් කරන්න. ගොඩක් කල් ජීවත් කරන්න මට බැරි උනත්, බඩගින්නෙ දුක් විඳල මරෙන්න නම් ඉඩ තියන්නෙ නෑ කියලයි මම හිතුවෙ.කොහොම හරි උන්ගෙ බඩ පුරවන්න උත්සාහ කලේ එකයි. එත් උන් දවස් දෙකක් තුනක් ජීවත් වෙනකොට මම හිතුව අඩුම තරමෙ උන් ඇස් ඇරල මේ ලෝකෙ දකිනකල් වත් ජීවත් කරවන්න මට පුලුවන් වෙයි කියල. එක පැටියෙක් මරුණ උනත් අනිත් එකා හැමදාම ජීවත් වෙයි කියල මම හිතුව. අන්තිමට ඒ හීන සේරම බොඳ වුනා..

සතුටු වෙන්න කියල ඉතුරු වෙලා තියෙන්නෙ උන්ගෙන් එකෙක්ට හරි අම්ම කෙනෙක්ගෙ උණුසුමේ ආයෙමත් ඉන්න ලැබුන එකයි, මැරෙන මොහොතෙත් උන්ට බඩගින්න කියන එකෙන් දුක් විඳින්න උනේ නෑ කියන එකයි විතරයි. උන් දෙන්නව ජීවත් කරගන්න ගත්ත උත්සාහයට මගෙ තාත්තවත් හවුල් කරගන්න මට පුලුවන් වුනා.අපි දෙන්නම ලොකු පිනක් කරගත්ත.. ඒ උනත් ඒ අහිංසකයන්ගෙ ජීවිත අකාලෙ නැති උන එක මතක් වෙනකොට දරාගන්න ගොඩක් අමාරුයි. ඒ විදියට මැරිල යන්න උන් කොච්චර පව් කරල තියෙන්න අතිද කියල හිතාගන්නත් අමාරුයි. උන් දෙන්නගෙ අම්මට මොකද උනේ කියල තවමත් හොයාගන්න බෑ. මේ දේවල් මතක් වෙන හැම වෙලාවකම මම ප්‍රාර්ථනා කරන්නෙ මැරුණ පැටව් දෙන්නම හොඳ ආත්මෙක උපදින්න කියලයි, උන් දෙන්නගෙ අම්ම ගිය තැනකින් ආපහු ගෙදර එන්න කියලයි විතරයි. මේ වෙනකොටත් සිය දහස් වාරයක් මම ඒ ප්‍රාථනාව කරල ඇති... 

ඒත්..........ඒ අම්ම ආපහු ආවොත්......... ඌට උගේ පැටවු ගැන දෙන්න උත්තරයක් මගෙ ළඟ නෑ..........


==========================================================


K. මුනසිංහ විසින් ලියන ලද කතාවකි.


ඔබගේ අදහස් යෝජනා චෝදනා ඉදිරිපත් කර අප දිරිමත් කරන්න.
ස්තුතියි.

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සෑහෙන්න සංවේදී කතාවක් බං.මටත් කදුලු ආවා.මරුවට ලියලත් තියනවා.උන් ගෙනාපු ආයුෂ ඉවරයි කියලා හිත හදාගන්න වෙනවා

    ReplyDelete
  3. හ්ම්ම්,, ඔවුවා ඔහොම තමයි මල්ලියා මාත් මගේ බලුපැටියෙක් නැතිවෙලා ගොඩක් දුක් වුනා ,, හොදට හිටපු පැටියා දවල් ඉස්කෝලේ ගිහින් එද්දී නැතිවෙලා .. ඔයා සංවේදී හදවතක් තියෙන කෙනෙක්,, දිගටම ලියන්න සුබ නව වසරක් ඔබට ..

    මල්ලි බ්ලොග් එකේ සෙටින්ග්ස් වලට ගිහින් --->පෝස්ට් & කොමෙන්ට් සෙටින්ග්ස් වලට යන්න එතනින් ---> කොමෙන්ට් මොඩරේෂන් කියන තැන YES කියලා ඇති ඒක no කරන්න කොමෙන්ට් කරන යට පහසුවක් වේවි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි උපදෙසට. Comment Moderation එකට පහලින් තියෙන show word verificaion එකටද Yes එක No කරන්න ඕනේ???
      Comment Moderation වලට තියෙන්නෙ Always, Sometimes, Never තුනෙන් එකක් ‍තෝරන්න කියලා. මම Always ම දුන්නා. දැං හරි ඇති.

      Delete
  4. අසාර්ථක උනත් උත්සහය වැදගත්

    ReplyDelete
  5. අසාර්ථක උනත් උත්සහය වැදගත්.

    ReplyDelete
    Replies
    1. ඒ නිසාමයි මේක දැම්මෙත් මචං.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!