ඔන්න අදත් මම ගෙනාවේ ගෙනාවේ පරිගණක ක්ශේත්‍රයට අදාල නොවන කතාවක්. මේ කතාව ඔයාල හැමෝගෙම ජීවිතවලට උතුම් ආදර්ශයක් වේවි කියලා හිතුණු නිසයි මේකෙ කර්තෘගේ අවසරයත් අරගෙන මගේ බ්ලොග් එකේ පලකරන්නෙ. තවත් එක් කඳුලු කතාවක් වන මේ කතාව කියවද්දි අපේ ඇස් වල කඳුලු එන්නෙ දුකටද සතුටටද කියන එක මට තවමත් හිතාගන්න බෑ.
මෙන්න එහෙනම්,
===================================
පියෙකුගේ කැප කිරීමක්..........
2013-12-31.තවත් වසරක අවසානය.
සව්දිය පුරති සමහරු.
තවත් සමහරු ජීවිතය වෙනුවෙන් අරගල කරති.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට නම් නැත අඩුවක් ගිලනුන්ගෙන්.
අපේ සුපුරුදු බේබදු රාමුවෙන් ට්‍රොලියේ ගැහෙන ඔහු දිහා බැලුවෙමු.
මොනවද බීවේ?
සර් මම අරක්කු කටේ තියලා නෑ සර්. හෙරොයින් ගහල නැවැත්තුව මේ මාසේ මුල. එදා ඉදලා උණ ගන්නවා ඇගට පණ නෑ සර්. කිසි දෙයක් කාලා නෑ සර් දවස් 6කින්. බුදු සර් මට සේලයින් එකක් විතරක් දෙන්න.
ඇයි ඉතින් නැවැත්තුවේ? මා ඇසීමි.
මට ඉන්නේ මගේ පුතා විතරයි සර්. මේ සේරම මම මගේ පුතා වෙනුවෙන් කලේ.
හරි අපි පස්සේ කතා කරමු. දැන් සේලියින් එකක් දෙනවා.
සේලයින්
බිඳුව
බිඳුව
රුධිරයට මුසු විය.
තවමත් දෑස විවර වන පාටක් නැත.
මාත් දුලානුත් බලාපොරොත්තු රහිතව ගැහෙන දේහය දෙස මදක් බලා සිටියෙමු.
විනාඩි 30ක්.
ඇස් පිය හෙමෙන් එසවිය.
සර්.
දැන් කොහොමද? ඇඟට පණ ආවද?
දැන් ටිකක් හොදයි සර්. මට දවස් 6කින් කන්න බැරි උනා. වමනේ යනවා. හෙරොයින් ගැහුවවම අලියෙක් උනත් පෙරලන්න තරම් ෆිට් එකක් එනවා සර්. ඒවගේම තමයි නවත්තල පැය 6 යන කොට මැරුණා වගේ තමයි.
කතාව මුල ඉදල කියන්න පුළුවන්ද? පෑන අතට ගත් දුලාන් අලුත් පිටුවක් පෙරලමින් ඇසීය.
සර් මගේ අම්මා ඉස්සර ලොකු කොම්පැනියක ලොක්කෙක් ගාව ලිපිකාරිණියක් විදියටයි වැඩ කරල තියෙන්නේ.
එයාට මාවයි මගේ නිවුන් සහෝදරියයි ලැබිලා තියෙන්නේ ඒ මණුස්සයා නිසයි. ඊට පස්සේ අම්මව අතරමං කරලා.
මගේ අම්මට මාවයි නංගිවයි ඉස්පිරිතාලෙදි ලැබිල තියෙන්නේ. එහෙදිම අම්මා නංගිව අදුරන එංගලන්තේ පවුලකට හදාගන්න දීලා. මම ලස්සන නිසා අම්ම මාව තියාගෙන.
නංගි දැන් මොකද කරන්නේ? මගේ හරස් ප්‍රශ්නයක්.
නංගි දැන් එහේ පල්ලියක සිස්ටර් කෙනෙක්.
එතකොට ඔයා?
මම ඉස්පිරිතාලේ ඉස්සරහ ස්විප් විකුණනවා සර්.
මට මොහොතකට මතක් වුනේ අර ජාතක කතා පොතේ එන ගිරව් දෙන්නගේ කතාව. එක ගිරවෙක් හුලගට ගහගෙන ගිහින් වැටුනේ හොර රංචුවකට, අනිත් එකා වැටුනේ හොද තැනකට. හොර රංචුව ලගට වැටුන ගිරවාත් අන්තිමට හොරෙක් උනා. අපි ඇසුරු කරන අය අපේ ජිවිතයට ලොකු බලපැමක් එල්ල කරනවා.
හරි ඊට පස්සේ?
මාව අරගෙන අම්මට යන්න තැනක් තිබිලා නෑ. අම්මා පිස්සුවෙන් හිස හැරුණු අතේ ගිහින්.
තවත් පටාචාරවක්!!!!!
ඊට පස්සේ මාලු විකුණන ගෑණු කෙනෙක් මාව කූඩේ දාගෙන ගිහින් හදලා තියෙන්නේ.
ඉතින් අම්මා ගැන හෙව්වේ නැද්ද?
හෙව්ව සර් හෙව්ව. මම අම්මව හොයාගෙන ගියේ අම්මගේ තුන් මාසේ දානෙට.
නිහඬතාවය.
හරි දැන් කුඩු වලට පුරුදු උනේ කොහොමද?
මම අවුරුදු 16 ඉදලා මල් ගහනවා සර්.
එතකොට හෙරොයින් වලට පුරුදු උනේ? කතාවේ පැටලුම ලිහාගැනීමේ අරමූණින් දුලාන් ඇසීය.
සර් මම ඒකාලේ ලස්සනයි. උසයි මහතයි. දැන් වගේ නෙවෙයි. මම අවුරුදු 18දී නිළියක් එක්ක යාලු උනා. එයත් ලස්සනයි. එයාට සල්ලි ගෙවල් වාහන වලින් අඩුවක් නෑ. අපි දෙන්නට පුතයි දුවල දෙන්නෙක් ඉන්නවා.
එයාට හොරෙන් තමයි මං මල් ගැහුවේ. ඒ සතියට පාරක් විතර. එයාට හොරෙන්.
මාව එයාට අහු උනා. එයා මගේ ළමයිනුත් අරන් ගෙදරින් ගියා සර්. පුතා විතරයි මට ඉතිරි උනේ.
මම හොදටම අප්සෙට් උනා. මගේ යාලුවෙක් කීවා හෙරොයින් ටිකක් උරහං ඕක හරියයි කියලා.
මට ලොකු වෙනසක් දැනුනා. අප්සෙට් එක කොහෙන් ගියාද නෑ.
සතිය ගානේ ගත්ත මම දවසට තුන්පාර ගානේ උරන්න පටන් ගත්ත සර්.
මට ලොකු ගෙයක් තිබුනා. ඒ ගෙදරත් විකුණල මම ඒ සල්ලි වලිනුත් හෙරොයින් ගැහුවා.
අද මම ජීවත්වෙන්නේ තනි කාමරේක.
මායි පුතයි.
මගේ පුතා මං වගේමයි උසයි ලස්සනයි. ඊටත් වඩා ඉගෙන ගන්න දක්ෂයි. හැමදාම පන්තියේ පළවෙනියා.
මේ සැරේ ඕලෙවල් විභාගේ ලියන්න හිටියේ. ඒත් මගේ වැරදි නිසා එයාට ලියන්න බැරි උනා සර්. එයාට ඉස්කෝලේ ළමයින්ට මූණ දෙන්න බෑ මම නිසා. කුඩ්ඩගේ පුතා කියල කියනවලු සර්. එයා දැන් මාත් එක්ක ටිකට් විකුණන්න එන්න හදනවා. මගේ පව්කාර ජීවිතේ ඒ ළමයට දෙන්නේ කොහොමද සර්?
හැම තාත්තා කෙනෙක්ගේ එකම බලාපොරොත්තුව දවසක තමන්ගේ දරුවෝ තමන්ටත් එහාට යනව දකින්න. මොහොතකට මට මගේ පියා මතක් උනා.
වැරැද්ද මගේ සර්. අලුත් අවුරුද්දේ වත් මම හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලා හිතාගෙනයි මේක නැවැත්තුවේ. මම මගේ පුතා වෙනුවෙන් ඕන දුකක් විඳින්න ලෑස්තියි සර්. මගේ වැරදි වලට මගේ පුතා වන්දි ගෙවනව දකින්න මට ඕන නෑ සර්.
එයා ගෙදර සර්. හෙට උදේ එයි මාව බලන්න.
සර්ලට පුලුවන් නම් තව එක උදව්වක් කරනවද?
මගේ පුතාට මම කීවා පාඩම් කරල ඊලඟ සැරේ ලියන්න කියල. ඒ උනාට එයා බාල පන්තිය එක්ක විභාගේ කරන්න කැමති නෑ සර්. එයාට පොඩ්ඩක් තේරුම් කරල කියල දෙනවද?
සොයා මහ වන අරණේ
දුලභ ලෙස හැඳින මම
ගෙනවිත් සුරැකිව
පැලකල
පුංචි පැලය නුඹ...
දැන් අතුපතර විහිදා
තෙදවත් ලෙසින්
විසල් සෙවනක් සදා
රැඳෙයි මා සිරසට
ඉහළින්
නොහැක මට බදනටවත්
නුඹ උසයි
අහසතෙක්..
=====================================
සංවේදී රෝග ඉතිහාසය කතාවකට පෙරළීමටමෙම කතාව ලියූ, කොතලාවල ආරෂක විෂ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය, මා මිතුරු චන්දිමට අවසර හා අතහිත දුන්, හිතමිතුරු කොතලාවල ආරෂක විෂ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය දුලාන් හට කර්තෘ චන්දිමගේත් මගේත් විශේෂ ස්තූතිය (ඔවුන් දෙදෙනාගේ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න).
සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිතයි.
තමන්ගේ ආදරණීය දරුවා වෙනුවෙන් මේ තරම් උතුම් කැප කිරීමක් ????
ඒ වගේ දෙයක් කරන්න හිතේ හයිය තියෙන මනුස්සයෙකුට කවදාවත් වරදින්නේ නෑ.
එහෙම මිනිස්සු මේ ලෝකෙටම එලියක්.
~ යො ච පුබ්බේ පමජ්ජිත්වා
පච්චාසො නප්පමජ්ජති
සො ඉමං ලෝකං පභාසෙති
අබ්භා මුත්තෝව චංදිමා ~
(ධම්ම පදං)
යම් කෙනෙක් මුලින් වැරැදි කර පසුව එය අවබෝධ කරගෙන ඉන් නිදහස් වන්නේ නම්, වළාකුළෙන් මිදුණු සඳක් සේ ලොවම බබළවන ප්‍රභාෂ්වර තත්ත්වයට පත් වේ.
-ධම්ම පදය-
ඔබගේ අදහස් යෝජනා චෝදනා සතුටින් බාරගනිමි.
ස්තුතියි.
අද පියවරුන්ගේ කැප කිරීම් අපිට ඇහෙන්නෙම නැති තරම්.
ReplyDeleteමේ කතාව blog එකට add කරපු පියරත්න සහෝදරයට ස්තූතියි!
ඒ වගේම චන්දිම සහෝදරයා, මේ කතාව ලියපු ඔබටත් ඒ ස්තුතිය හිමි වෙනවා හද පතුලෙන්ම.
Deleteමෙන්න කියවනවනම් කතා.....!!
ReplyDeleteමේ කතාවෙ රචකයාත් (ඔය උඩ comment එක දාලා තියෙන චන්දිම) අපේ KDU කොල්ලෙක්ම තමයි මල්මල් සහෝ.
Delete