Wednesday, March 26, 2014

මොකක්ද වඳුරෝ මේ??

මේ! වඳුරෝ! මේක හොඳට අහගනිං.

මම දන්නවා එලියේ වැස්ස තදයි කියලා. ඒ වැස්සේ ඉන්න අමාරුයි තමයි. ඒත්, මේ පුංචි කූඩාරම ඇතුළේ මටත් හරියට ඉන්න ඉඩ මදි. උඹට ඒක පේන්නේ නැතුව නෙවෙයිනේ?

මුලින්ම උඹ මේ කූඩාරම අස්සට අතක් දැම්මා. ඒත් මම උඹව එලෙව්වේ නෑ. මොකද, උඹේ අතේ තිබුණු ඒ පුංචි තුවාලේ තෙමිලා පැසවයි කියලා උඹ ගැන දුක හිතුණු නිසා.



ඊට පස්සේ උඹ මොකද කළේ? හෙමිහිට හෙමිහිට ඔලුවත් එබුවා කූඩාරමට. මම ගුලි වෙලා පැත්තකට වෙලා අමාරුවෙං පුංචි ඉඩක් හදලා දුන්නා උඹට ඔලුව නොතෙමී තියාගන්න.

ඒත් දැං??? උඹ මේ මොකක්ද කරන්න හදන්නේ???
මාව එලියට තල්ලු කර කර උම ටික ටික කූඩාරම උඹේම කරගන්න නේද මේ උඹ දඟලන්නේ??

ඇයි මෝඩ වඳුරෝ, උඹට උඹේම කියලා ඉන්නහිටින්න තැං මේ ගස් උඩ ඕනේ තරං තිබුණට, මට තියෙන්නේ මේ පුංචි කූඩාරම විතරයි කියලා උඹට තේරෙන්නේ නැද්ද?
නැත්නම් ඒක තේරුණාට ගණං ගන්නේ නැද්ද???

මං මේ උඹට පුළුවං තරං හොඳිං කියන්නේ වඳුරෝ. උඹගේ අතක් පයක් කඩලා පස්සට පයිං ගහලා මෙතනින් එලවන්න කලිං උඹ එක්කෝ මෙතනිං කැමැත්තෙන්ම පලයං.
නැත්නම් ඔය මෙච්චර වෙලා යස අගේට උන්නු විදිහට, වැඩිය සෙල්ලං පෙන්නන්නේ නැතුව කට වහගෙන හි‍ටු.

හැබැයි උඹ හොඳට මතක තියාගනිං. උම මොන සෙල්ලම පෙන්නුවත්, අර පේන ගස් උඩ ඉන්න හැම වඳුරෙක්ම එක්කරගෙන ඇවිල්ලා මට අභියෝග කළත්, මේක මම උඹට අයිති කරගන්න දෙන්නේ නෑ. මේක මගේ කූඩාරම. මාව මෙතනින් එලවන්න උඹට එහෙම ලේසියෙන් ඉඩතියන්නේ නෑ මෝඩ වඳුරු තඩියෝ.

මම උඹට මෙතන ඉන්න දුන්නේ උඹ පව් නිසා මිසක් මේක උඹටම දෙන්න හිතාගෙන නෙවෙයි. අනික, මම උඹව මෙතනිං කවදා හරි එලෙව්වොත් එලවන්නේ, උඹ වඳුරෙක් නිසා නෙවෙයි. මට වෙන යන්න තැනක් නැති නිසා. මේ කූඩාරම මගේ විතරක් නිසා. මට තියෙන්නේ මේ කූඩාරම විතරක් නිසා.

කොහොම වුණත්, මම උඹත් එක්ක කිසි තරහක් නෑ. ඔන්න ඔහේ උඹට ඕනේ තරම් වෙලාවක්, ඔය හිටපු විදිහට ඉඳලා පලයං. මට කරදරයක් වෙන්නේ නැත්නම් එච්චරයි.


~ පිරේ ~

3 comments:

  1. හ්ම්ම්ම් ...........ඒත් තොප්පි වෙළෙන්දාගේ ක්‍රමේ අනුගමනය කරන්නත් තිබ්බ .

    ReplyDelete
    Replies
    1. මේකට අදාළ මිනිහා තොප්පි වෙළෙන්දාගේ ක්‍රමය අනුගමනය කරලා දැනටමත් බාගෙට කෙලවගෙන ඉන්නෙ.

      පේනවාට වැඩි දෙයක් දකින්න උත්සාහ කළොත් මේකෙන් කියන්න හදපු දේ ඔයාටත් හිතාගන්න පුළුවං වෙයි ඔමායා අක්කේ.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!