Sunday, November 23, 2014

ෂර්ලොක් හෝම්ස් ලංකාවට ඇවිත්

මීට කලින් කවුරු හරි කෙනෙක් හෝම්ස් ලංකාවට ඇවිත් වෙච්ච සිද්ධියක් ගැන පෝස්ට් එකක් වත්පොතේ ගෙත්තම් කරලා දාලා තිබුණා මතකද????
ඒක දැකලා, අපේ පරපුරේ ජනප්‍රිය තරුණ කලාකරුවෙක් වන "තාරු රාජපක්ෂ" (අපේ විශ්වවිද්‍යාලයේ, මගේ ජ්‍යෙෂ්ඨයෙක්) ජොලියට වගේ ඒ විදිහේ කතාවක් ලියලා පලකලා!!! 
ඒක නොදුටු උදවියට දකින්න මෙන්න මං (උස්සලා) මගෙ බොගේ දැම්මා!!!

මෙතැන් සිට සිද්දධිය ඔහුගේ වචනයෙන්........

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*මෙම කතාව හෝම්ස් පල කිරීමට අවසරය දුන් එකක් නොවේ.



මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මහතා යෙදුනු ඉතාම සුවිශේෂ පරීක්ෂණයකට සහභාගිවීමට, එක් අගෝස්තු මාසයක මට අවස්තාව සැලසිණි, ඒ මා මේරි මෝස්ටන්මෙනෙවිය සමඟ විවාහ වූ අලුත එක් දිනයකි.සති කිහිපයකින් මගේ මිත්‍රයා දකින්නට නොලැබුන නිසා, ඔහු හමුවීමට මරදානේ බේකර් විදියට යාමට තීරණය කලෙමි. 

“මට හිතන්න කාරණා තියෙනවා....”
මා කතාව ඇරඹුවා පමණි....

“මම එහෙම හිතනවා” 
කියමින් ෂර්ලොක් හෝම්ස් මගේ කතාවට භාධා කළේය. මේ අවහිරයෙන් මම මඳක් කෝපයට පත්වීමි.

“මේ ඇත්තමයි හෝම්ස්.. වෙලාවකට ඔබේ මේ පිළිවෙල නිසා මට තරහත් යනවා”

එහෙත් මා කියූ කිසි දෙයක් ඔහුට ඇසුණු බවක් නොපෙනිණ, විදුලි පණිවුඩයක් අතට ගත් ඔහු එය දෙස බලා සිටියේ ලොවම අමතකවුවාක්මෙනි. මේසය උඩ සුදානම් කොට තිබු උදේ ආහාරයට ඔහු අත තබාවත් නැත. විදුලි පණිවුඩය හිරු එලියට අල්ලාගත් ඔහු එය හොඳින් පරික්ෂා කළේය.

“මේකනම් ලියල තියෙන්නේ පොලොක්, ඔහුගේ අත් අකුරු හොදින් මම අදුනනන්වා වොට්සන් මහත්මයා”

“වොට්සන් තවත් ප්‍රමාද වීමට කාලය අපහට නැහැ, දැන්ම අපි ආමර් විදියට යා යුතුයි”

මා මිතුරු හෝම්ස් මෙලෙස කලබල වී ඇත්තේ 1885 වර්ෂයේ අබෙනෙට් පවුලේ අබිරහසේදී සහ මහාචාර්ය මොරියාට් සමඟ ඇතිවූ ආරවුලේ ආරම්භයේදීය.

හඩ්සන් මහත්මිය බලාසිටියදීම අප දෙදෙනා කුලී රියට නැගුනේ තවත් අපරාධයක සුලමුල සෙවීමට අප දෙදෙනා පිටත්ව යනවග හැසිරීමෙන් දැන්වීමෙනි

“මිත්‍රයා ඔබ මා හා ගතකල කාලය සමඟ හා අප මෙතෙක් කල 
පරීක්ෂණ නිගමන අනුව, දැන් වෙලාව 12.30යි,
අප ආමර් විදියට ලඟා වනවිට වෙලාව කීය පමණ වෙයිද? නිගමනය කරන්න වොට්සන්”

මරදානේ සිට ආමර් විදියට යාමට කුලී රථයේ මිනිත්තු දහයක් වත් නොයන නිසා මට මඳ සිනහවක් නැඟිනි, නමුත් මා පැවසුයේ වාහන තදබදයත් උපරිමය යැයි සිතා 

“12.45 විතර වේවි හෝම්ස්, මොකද දැන් මොන්ටිසෝරි ඇරෙන ටයිම් එකන්නේ”

මීළඟට ඔහු දුම් පයිප්පය දල්වාගෙන සිනහ සෙමින් දෙනෙත අඩවන් කළේය. මඳ නිහඬතාවක් අපදෙදෙනා අතර පැවතිණි.

“මගේ මිත්‍රයා අපිට 2.30 පමණවත් වෙනවා ආමර් විදියට ළඟාවෙද්දී”

මා පුදුම වුයේ ඔහුගේ එම කතාවෙනි
“මම සිනහසෙමින් ඇසුවේ මා මිත්‍ර රහස් පරීක්ෂක තුමනි, මෙතෙක් ඔබ කියූ සියලුම දේවල් ගැන සුළුවෙන් හෝ තැකීමක් කළා, නමුත් මම මේ කතාවටනම් එකඟ නැහැ”

මුවින් දුම් ගුලියක් පිටකළ ඔහු
“දොස්තර මහතාණෙනි දැන ගැනීමට කැමතිනම මම කියන්නම් ඒ ඇයි කියලා”

මා ඔහුගෙන් ඉල්ලීම කිරීමට පෙරම ඔහු එසේ පැවසීම මගේ සන්තෝෂයට හේතුවිය.
“දැනගැනීමට ඉතාමටත් කැමැත්තෙන් පසුවෙනවා රහස් පරීක්ෂක තුමනි“
මා විගසින් පැවසුවෙමි.

“දැන් බලන්න වොට්සන් අපි මේ නැගපු වීල් එක, මේකේ ආදායම් බලපත්රේ ගිය මාසේ 10 වෙනිදායින් ඉවරයි, පොලිසියෙන් දැක්කොත් නියත වශයෙන්ම ලියනවා, එහෙම ලිවේ නැතත් මු යන වේගෙටයි, මේකේ එල්ලී එල්ලී තියෙන කෑලි වලටයි නියත වශයෙන්ම නවත්තනවා”

මම ඔහුගේ කතාවට බාධා කලෙමි.
“නමුත් අද හයිඩ් පිටියේ උද්ගෝෂණයක් තියෙන හින්දා ලංකාවේම පොලිසිය එතන”

“හරි වොට්සන් අපි හිතමු පොලිසිය නෑ කියලා මේකාට තියෙන විසේට, මු යන යෑමට තව ටිකකින් හප්ප.......’’
ගතවුයේ නිමේෂයකි ඉදිරියේ තිබු ලයිට් කණුවක වේගයෙන් ගොස් අප කුලී රිය ගැටුණි. 

අසරණ හෝම්ස්ගේ නළලින් ලේ ගලමින් ඔහු කුඩුපට්ටම් වී තිබු කුලී රියෙන් එලියට ආවේ ත්‍රිවිල් කාරයාගේ මෑණියන් මතක් කරමිනි.
මා පුදුම වුයේ අප කුලී රිය හැප්පීම පිළිබඳව නොව මගේ මිතුරාගේ නිගමනයන්ගේ සත්‍යය පිලිබඳවය, බෙහෙත් ශාලාවෙන් එලියට එනවිට ඔහු කියූ වෙලාවට වඩා මිනිත්තු පහක් කලින්ය.

කෙසේ හෝ 2.30 වනවිට තුවාල වලට බෙහෙත් දාගත් අප දෙදෙනා එම ස්ථානයට ලංගාවිමු. ආමර් විදියේ කාර්ය බහුල අවස්තාවක් නොවුවත් එම ස්ථානයේ සෙනග පීරී සිටියේය. එවිට තරුණයෙක් පහර කා බීම වැටී සිටිනු දුටිමි, ඔහුට තදබල ලෙස පහර දී තිබු අතර කතාකරගනිමටවත් නොහැකිව

“ඔය තරුණයා ධනවත් පවුලකින් ආපු තරුණයෙක් වොට්සන්, නමුත් පිටිසර ගමක ඉඳලා තමයි අද කොළඹ ඇවිත් තියෙන්නේ, බික් රේසරයකින් උදේ රැවුල කපලා තියෙන්නේ, ක්‍රෙස් කැට් එකෙන් හරි හවුස් ඔෆ් ෆැෂන් එකෙන් හරි තමයි ඔය ෂර්ට් එක අරන් තිනෙන්නේ, උදේ පර්යිවට් බස් එකකින් ඇවිත් තියෙන්නේ, ජලසම්පාදනේ තමයි මොහු වැඩ කරන්නේ” යැයි එතන සිටි පිරිස පුදුමයට පත්කරවමින් හෝම්ස් කියාගෙන කියාගෙන ගියේය. 

ඉන්පසු හෝම්ස්ගේ අත්කාචය අතටගේත් දුම් පයිප්පය දල්වාගෙන එම ස්ථානය ඉතාමක් සුක්ෂම ලෙස පිරික්සීමට පටන්ගත්තා පමණි, 
“කට් කට්”
කියමින් රැවුල වවාගත් පුද්ගලයෙකු අප දෙසට දුවවිත් නැවතත් හෝම්ස්ගේ පැරණි තුවලවලටත් වදින පරිදි පහර පිට පහර දෙන්නට පටන් ගැනිණි.
“මොනවද චමින්ද කරන්නේ? දැන් මේ ෂොට් එක ගන්න තුවෙනි පාර නියමෙටම ආව, කෑවනේ ඒකත්” 

එවිට අපට වැටහුනේ මෙය ටෙලිනාට්‍යයක රුගත කිරීමක් බවත් හෝම්ස්ට ලැබුණු එම විදුලි පුවත බොරුවක් බවත්ය.

විගසින් මගේ හිතුවක්කාර මිත්‍රයා ත්‍රීවිල් එකකකට නග්ගවා ගත්තෙමි, මොහු සිතන්නේ තාමත් අප ඉන්නේ ලන්ඩනයේ කියාය. ත්‍රීරෝද රථය වේගයෙන් ඇදේ.

“මේවට බෙහෙත් දාගන්න තැනක් බලන්න මල්ලි” කියා ත්‍රීවිල් සොහොයුරාට කියූ ඔහු, නැවතත් ත්‍රීවිල් මල්ලිගේ කොන්දට ඇඟිල්ලෙන් ඇන ,
“මේකේ මීටර් ටැක්සි කියලා ගහලා තිබුනට මීටරේ ඔන් කරලා නෑනේ?”
යැයි ත්‍රීවිල් රියදුරාගෙන් ඇසු හෝම්ස්ට ලැබුනේ අපූරු පිළිතුරකි,
“අන්කල් මේ... ගුටි කාලා කෑගහන්නත් එනවද? මේක වන් වේ හින්දා මීටරේ ඔන් කරන්න බෑ, කැමතිනම් යන්”

හෝම්ස් ආයාසයෙන් තවත් යමක් කීමට තැතනුවේය, මම අතින් ඔහුගේ කට වැසුවෙමි, නැත්නම් අද දිනයට තෙවන ගුටිකෑම සිදුවීමට තිබුණි.කටට අත තබුවිට අසරණ මිතුරාගේ දත් දෙකකුත් කැඩී ඇති බව එවිට මට දැනුනි, මොහු කිසිම දිනක ලන්ඩනයේ හෝටලයකින් වත් මෙලෙස කා නැත.

“හෝම්ස් ඔබ කොහොමද අර තරුණයා ගැන හරියටම විස්තර කිවේ?” 
යැයි මම ගුටි කා ඇදවී සිටි මගේ මිත්‍රයාගෙන් ඇසුවෙමි.

මහත් ආයාසයෙන් හෝම්ස් හඬ අවදි කළේය,
“මිත්‍රයා!!
ඔබ එතන නිකම් අල කාලා වගේ සිටියාට මම හැම දෙයක්ම හැම තත්පරයකම නිරීක්ෂණය කරනවා, සමහරවිට ඔබ නොදකින්න ඇති ඔහුගේ කලිසම් සාක්කුවේ තිබුනේ සැම්සුන් S 5 එකක හෙඩ් සෙට් එකක්, එම නිසයි මම ධනවත් තරුණයෙක් කියා කීවේ”

අමාරුවෙන් නමුත් සිනාසුනු මම,
“ඒක චයිනීස් එකක් වෙන්න බැරිද?”

“නැහැ වොට්සන් ඒ හෙඩ්සෙට් එන්නේ ඔර්ජිනල් එස් 5 වලට විතරයි ”

“හරි ඉතිරි නිගමන?”

“පිටිසර ගමකින් ආවා කියලා කිවේ වොට්සන්, ඔහුගේ කලිසමේ තුත්තිරි ඇට තුන හතරක් තිබුනා, මා රැවුල කැපුවේ බික් රේසරයකින් කියා කිවේ ජිලට් රේසර් වල තල දෙක එන්නේ, තනි තලේ දැන් කැලේ හින්දා, බික් රේසර් විතරයි තනි තලේ එන්නේ, ඔහුගේ මුහුණ එක තලයකට කැපිලා තිබුනා, ෂර්ට් එක ගැන කිවේ මම හවුස් ඔෆ් ෆැෂන් එකෙයි ක්‍රෙස් කැට් එකෙයි විතරයි ෂර්ට් ඔය විදිහට නමල විකුනන්න තියෙන්නේ, විස්වාස කරන්න වොට්සන් ලංකාවේ කිසිම රෙදි කඩයක ඒ විදිහට නමන්නේ නෑ ෂර්ට්.

“එතකොට ප්‍රයිවට් බස් එකක ආව කියලා නිගමනය කලේ කොහොමද මිත්‍රයා?”

“ඔබ නොදුටුවාද ඔහු ඇඳන් සිටි කමිසය හොඳටම පොඩිවෙලා තිබුණා, කවුරු හරි අතින් ඇදලා තියෙනවා, තල්ලු කරලා තියෙනවා, කකුල පාගලා තියෙනවා”
කියමින් ත්‍රීවිල් රථයේ රෙක්සින් එක මෑත් කර ගමන් කල ප්‍රයිවට් බස් එක දෙස බැලුවේය. 
මින් පෙර දිනක හෝම්ස් ප්‍රයිවට් බස් එකකින් මගේ නිවසට පැමිණ කියූ දේවල් මතක්වුනි.
“එතකොට කොහොමද ජලසම්පාදනේ වැඩකලා කියන්නේ?”

“බලන්න වොට්සන් ඔබ ගොනෙක් වගේ අහන හැටි”

විගසින් ත්‍රීවිල් රියදුරා වෙට්ටුවක් දැම්මේය, මගේ සර්වාංගයම හිරිවැටුණි,
“කමක් නෑ මල්ලි හයියෙන් යමු, ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මිනිහට කණාමැදිරි එළියත් කජ්ජක්ද කිවලු”
හෝම්ස් පැවසුවේය.
නැවතත් හඬ අවදිකළ ඔහු,
“ජලසම්පාදනේ වැඩකලා කිවේ මනුස්සයෝ, කොල්ලගේ සෙරෙප්පු දෙකේම මැදින් විතරක් ගෙවිලා තිබුනා, ඒ කියන්නේ නිතරම මොහු සිලින්ඩරාකාර දෙයක් මත ඇවිදලා තියෙනවා,ඒ මොනවද මතද එතකොට ඇවිදලා තියෙන්නේ?”

මඳක් කල්පනා කල මම,
“වතුර බට”

“හරියට හරි වොට්සන් ඔබටත් දැන් පුත්තලම් බුරුවො හත් අට දෙනෙක්ගේ මොලේ තියෙනවා, ඉතින් වොට්සන් ඔහු නිතරම වතුර බටවල ඇවිදලා තියෙනවා ඒකෙන් කියන්න පුළුවන් ඔහු ජලසම්පාදනේ තමයි වැඩ කියලා”

“අන්කල් මෙතනින් බේත් දාගන්න”
ත්‍රීවිල් මල්ලි පැවසුවේය.
අපි බෙහෙත් ශාලාව වෙත ගියෙමු.

කෙසේ හෝ අපි නැවතත් මරදානේ බේකර් වීදියේ හඩ්සන් මහත්මියගේ නවාතැනට සැපත්විමු.
හඩ්සන් මහත්මියගේ වෙනිවැල්ගැට කෝප්පය රසවිඳින අතර මා හොම්ස්ගෙන් ඇසුවේ,
“හෝම්ස් ඔබ අප ගුටි කෑමට පෙර ඔබගේ දක්ෂ සටන් කලාව භාවිතා නොකළේ මන්ද කියා මට පැනයක් නැඟෙනවා?”

බෙල්ලට දමා තිබු කොලරය මඳක් බුරුල් කර, රත් පහ වූ දෙනෙතින් මා දෙස බැලු හෝම්ස්,
“මගුලක් කතා කරන්න එපා වොට්සන් මගේ බෙල්ල උලුක් වෙලා හොඳටම” 
යැයි සිධ්ධාලේප කුප්පියට අත යවන ගමන් පැවසුවේය. ඉන්පසු එයින් බිඳක් ගෙන බෙල්ලේ අතුල්ලාගත් ඔහු ජනේලයෙන් ධවලගිරි හෝටලය දෙස බලාසිටියේය. 

ඇත්තෙන්ම හා හා පුරා කියා දිගු කලකට පසු ඇතිවූ මෙම සිද්ධිය නිසා හෝම්ස් සිටියේ මහත් කලකිරීමෙනි, ඒවා අතරට තුවාල, තැලීම් වල වේදනාවත් ඇති බවක් පෙනුණි.

“තෝසේ පාරක් දාන්න තියෙනවානම් හොඳයි වොට්සන්”
කියමින් දෑස් පියාගත්තේය.................

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ප.ලි.
විභාග කටයුතු නිසා බ්ලොගේ අතෑරිලා තිබුණේග ඒත් මේ වගේ දෙයක් දැක්කම අතෑරලා දාන්න හිතෙනවද ඉතිං නේ??
(කතෘ හිමිකම් සහිතව උපුටා ගත් නිසා හානිකර අතුරු ඵල අැති නොවේ යැයි සිතමි ^_^ ^_^ )

12 comments:

  1. අගක් මුලක් නැති වැකි නිසා බල්ලා මාක් සිංහල. මේ විශ්ව විද්‍යාල වල ඉන්න විද්‍යාර්ථීන්ගේ සිංහල නම් රටට දෙයියන්ගේම පිහිටයි. පිටකොටුවේ සිංහල මීට වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ලංකාව මේ ලෝකෙ එකම සිංහල රට!!! ඒ වුණත් ලංකාවෙ බොහොමයක් විශ්වවිද්‍යාල වල සිංහල භාවිතයක් නැතිම තරම්!! ඒ නිසා ඉතිං උගතුන්ගෙ සිංහල දැනුම ගැන කවර කතාද???

      ඒත් අැනෝ, ඔබේ අදහස ට මගෙන් පොඩි නිවැරදි කිරීමක් දෙන්න කියෙනවා!!! මේ අැත්තටම පිටකොටුවේ සිංහල තමයි!!! ලංකාවෙ සමාජය තුළ නිතර දකින දේවල ගැන උපහාසයක් මතුකරන්න මේ කතුවරයා ඒ වගේ භාශා ශෙෙලියකින් මේ කතාව ලියා අැති බව ඔබට හරි හැටි වැටහිලා නැතිව අැති!!!

      Delete
    2. //දැන් බලන්න වොට්සන් අපි මේ නැගපු වීල් එක//
      හෝල්ම්ස් කවදාවත් මෙහෙම කියන්නේ නැහැනේ ඌ සුද්දෙක් ඌ කියන්නේ trishaw එක කියලා.

      //කෙසේ හෝ 2.30 වනවිට තුවාල වලට බෙහෙත් දාගත් අප දෙදෙනා එම ස්ථානයට ලංගාවිමු//
      2.30 වනතුරු බෙහෙත් දැම්මාද 2.30 ට එතනට ගියාද? පැහැදිලි නෑ.

      /මා රැවුල කැපුවේ බික් රේසරයකින් කියා කිවේ ජිලට් රේසර් වල තල දෙක එන්නේ, තනි තලේ දැන් කැලේ හින්දා, බික් රේසර් විතරයි තනි තලේ එන්නේ, ඔහුගේ මුහුණ එක තලයකට කැපිලා තිබුනා, ෂර්ට් එක ගැන කිවේ මම හවුස් ඔෆ් ෆැෂන් එකෙයි ක්‍රෙස් කැට් එකෙයි විතරයි ෂර්ට් ඔය විදිහට නමල විකුනන්න තියෙන්නේ, විස්වාස කරන්න වොට්සන් ලංකාවේ කිසිම රෙදි කඩයක ඒ විදිහට නමන්නේ නෑ ෂර්ට්//
      චිකේ.......................සුද්දා දන්නේ කොහොමද මෙහෙ තියන රේසර් ගැන?කඩවල් ගැන? දැන් මෙතන කියනවා අහවල් කඩේ ෂර්ට් එක නවන්නේ මෙහෙමලු. ඊළඟට කියනවා පොඩිවෙලාලු මොනවද මේ හතරබීරි කතා.

      නමටම ගැලපෙන අච්චාරුවක් තමයි.

      Delete
    3. ///නමටම ගැලපෙන අච්චාරුවක් තමයි///
      නැත්නං ඉතිං මං මගෙ අච්චාරුවට මේක ගෙනාවෙ මොකට කියලා හිතුවද අැනෝ!!! ගැලපෙන දේ තමයි දාන්නෙ!!!
      අච්චාරු දාන නිසා තමයි අච්චාරුව කියලා නම වෙනස් කලේ!!

      මෙහෙමයි, මේ කතාව විචාරනකොට මේ දේවලුත් දැනගත්තොත් හොඳයි!!
      1. මේ හෝම්ස් උන්නැහේගෙ දෙවැනි ලංකාගමනය (මීට කලිං වෙන කෙනෙක් හෝම්ස්ගෙ ලංකාගමනක් ලිව්වා). ඒ නිසා ලංකාව ගැන යම් දැනුමක් තියෙනවා කියලා හිතන්න වෙනවා.
      2. කතුවරයා මේ කතාවෙන අමතන්න උත්සාහ කරන්නෙ වියත් භාශාවේදී පාඨකයින් නොවෙයි.
      3. ලංකාවේ තුන්වන සමාජ පන්තියේ ජීවිත ගත කරන, සාමන්‍ය පොදු ජනතාව අරමුණු කරගෙන, ඔවුන් එදිනෙදා මුහුණ දෙන පොදු ගැටලු කිහිපයක් තමයි මොහු මෙයින් ප්‍රහසනයෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ!!
      4. ඒ වගේ මිනිස්සුන්ට ගැලපෙන සරල සහ නොදියුණු බස් වහරක් යොදාගත් හේතුව ඒකයි.
      5. අර 2.30 ගැටලුව නම් ඔබගේ ගැටලුවක්. අදාල තැනට යන්න ඒ වෙලාව වෙයි කියලා හෝම්ස් උන්නැහේ කලිං ම තමන්ගේ සගයාට කියනවා. ඊට පස්සෙ බෙහෙත් දාන කතාවට ගියාට, මුල් අදහසට වෙනසක් වෙන්න බෑ!!!

      (වැරදි අඩුපාඩු පෙන්වා දෙන උදවියට මං කැමතියි!! ඒවා තියෙන නිසානේ පෙන්නන්නේ. කවුරු හරි පෙන්වන නිසා තමයි හදාගන්න පුලුවං වෙන්නේ!! ඒත් මෙහෙම අැනෝ කෙනෙක් විදිහට මූණ වහගෙන ඉන්නෙ නැතුව තමුන් කවුද කියනවානම් මීට වඩා වැදගත් විදිහට, නිසි ස්තූතිය පිලිගන්වන්න තිබුණා.)

      (බැන්නත් එලිපිටම බණින මිනිස්සු බ්ලොග් ලෝකෙ ඉන්නවා. හැබැයි ඒ මිනිස්සු තමයි වටින්නේ)

      Delete
  2. ඔයිට කලිං හෝම්ස් ලියල තිබ්බෙ රාජ්...
    පොඩ්ඩක් අවුස්සල බලහං හොයාගන්න බැරිවෙන එකක් නැ

    ReplyDelete
    Replies
    1. ඒකත් හොයල බලන්න ඔනේ අයියේ!! මේ දවස් වල විභාගෙට හිර වෙලා නිසා දැං ම බැරි වෙයි!!

      Delete
  3. මේ කථාවෙ නම් ඇති රසයක් නෑ.
    මූණු පොතේ තිබුනු කථා ලියලා තිබුනේ දිමුත් මධුසංඛ.
    ඒ කථාව නම් පට්ට.
    චන්දන මෙන්ඩිස් ලිව්ව කථාවක් තරම් පට්ට

    ReplyDelete
    Replies
    1. ඔව් ඉමේෂ්, මේක අත්හදා බැලීමක් නේ!!
      ස්තූතියි අදහසට!!

      Delete

  4. Kawru monawa kiwwath hamotama me wage dewal liyanna ba ekatath talent 1k tiyenna oneh so digatama liyanna all the best eketh podi kalawak tiyenawa :)

    ReplyDelete
    Replies
    1. නංගි හරි නංගි!!!
      හැබැයි දරුවෝ මේක නං මම ලියපු එකක් නෙවෙයි!!
      ස්තූතියි අදහසට!!

      Delete
  5. අද තමයි අපි මේ පැත්තට අාවේ............. නියම බ්ලොගයක්............... දිගට ම ලියමු... අපි ඒන්නම් කියවන්න..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරුටු. නිතරම ලියවෙන්නෙ නම් නෑ. වෙලාව හිඟයි. ඒත් ඉඳහිට හරි ලියන නිසා කියවන්න දෙයක් තියේවි. ඒ නිසා පුළුවන් වෙලාවට මේ පැත්තෙත් අැවිත් බලන්න. මාත් පුළුවං වෙලාවට එන්නංකො ඒ පැත්තෙ.

      Delete

යන්තමින් ලෙවකාලා වගේ අච්චාරුවෙ රස බලලා යන්නේ නැතිව, හොඳට රසවිඳලා රසගුණ ගැන ගුණදොස් ඉදිරිපත් කරනවනං ඉදිරියට අච්චාරුව තවත් රසවත් කරන්න පුළුවන් වේවි!!